උදේට පායලා එන ඉරත් එක්ක පටං ගන්න දවස ඇතුළතදි වෙන්නෙ මොනවද කියන එක අපි කවුරුවත් ම දන්නෙ නෑ.හැම අලුත් දවසක් ම කියන්නෙ අභිරහසක්.අපි මීට කලිං කියවල නැති පොතක අලුත් පරිච්ඡේදයක්.
මට අනුව නං…,හැමදාමත් ජීවිතේ කියන්නෙ රහසක්.ඔව්…ඒක අපි හැමෝටම රහසක්.
උදේම පැතිරෙන ළපටි හිරු කිරණත් එක්ක මල් පිපෙන්න පටං ගන්නවා.මල් වුණත් අලුත් දවසකට ලෑස්තියි.ඒත් එක්ක ම වාහන දුම්වලින් දූෂණය වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දි වුණත්,මල් සුවඳ වටපිටාව පුරාම පැතිරෙනවා.විහිදෙනවා.
කුරුළු කූඩුවලිං පියාඹගෙන එන කුරුල්ලො අහසෙ ඉම කොන හොයාගෙන පියාඹගෙන යද්දි උංගෙ කිචි කිචිය මගේ ගෙදරට වගේම ඔබේ ගෙදරටත් එනවා.
මල් සුවඳ වුණත් එහෙමයි.ඒ මල්වල සුවද එන්නෙ ඔබේ ගෙදරට විතරක් නෙමෙයි.මගෙ ගෙදරට විතරකුත් නෙමෙයි.ඒ සුවඳ එන්නෙ ඔබේ ගෙදරට සහ මගේ ගෙදරට..,සහ තවත් දහසකුත් ගෙවල්වලට.
මල් සුවඳට ඔබද මමද කියන එක ගැන ප්‍රශ්නයක් නෑ.කුරුළු කූජනේට ඔබ මම කවුද කියන එක ගැන වෙනසක් නෑ.මල් සුවඳට වගේ ම කුරුළු කූජනේට අපි හැමෝම එකයි.
හොඳට ළංවෙලා බැලුවහම ඔබට පෙනේවි ඒ මල් සුවඳ එක මලකින් විහිදෙන සුවඳක් නොවන බව.ඒත් එක්ක ම කුරුළු කූජනවල පවා විවිධ වූ නාද රටා ඇති බව.මේ හැමදේම සංකලනයක්.
පිපිලා තියෙන්නෙ එක මලක් නෙමෙයි මල් සිය දහස් ගණනක් කියලා වට පිට බැලුවොතින් ඔබටත් මටත් පෙනෙනවා සත්තයි ! ඒත් ඒ සිය දහස් ගණනක මල් වුණත් එක එක වර්ගවල ඒවා කියලා පේන්න නං ඔබත් මමත් ටිකක් විපරම්කාරී වෙන්න ඕනෙ.
එතන තියෙනවා හැඩයෙන්,ප්‍රමාණයෙන්,පාටින්,සුවඳින් එක එක විදිහෙ මල්.එකිනෙකට වෙනස් මල්වර්ග ගණනාවක්.එතකොට ඔබටත් මටත් දැනෙන මේ මල් සුවඳ ඒ හැම මලකම සංකලනයක්.
කුරුළු කූජනයෙ වුණත් තියෙන්නෙ එක නාද රටාවක් නෙමෙයි කියලා දැනෙන්න නම් ටිකක් විපරමින් සවන් දෙන්න වේවි.අන්න එතකොට කුකුළෙකුගෙ හඬලෑමක් එක්කම ඊට යටින් ඇහෙන බට්ටිච්චෙකුගෙ හඩත් ඔබට වෙන් වෙන්ව හදුනාගන්න පුලුවං වේවි.
පොඩ්ඩක් අවට විපරම් කරලා බැලුවොතින් ඔබට පෙනේවි අහසෙ ඉම කොන හොයාගෙන පියාඹන ඒ කුරුළු ප්‍රජාව.එතන එක කුරුල්ලෙකුට වඩා ඉන්න එක ඔබටත් මටත් පහසුවෙන් ම වැටහේවි.ඒත් තවත් උනන්දුවෙන් බැලුවොත් එතන ඉන්නවා එක එක විදිහෙ කුරුල්ලො.
ලොකු කුරුල්ලො,පොඩි කුරුල්ලො එක එක පාටවල,එක එක හඬවල් තියෙන කුරුල්ලො…මේ සේරම…එතකොට ඔබටත් මටත් ඇහෙන මේ කුරුළු කූජනයත් සංකලනයක්.
එකම වර්ගයේ මල්වත් එකම වර්ගයේ කුරුල්ලන්වත් නෙමෙයි මේ හැමදේම මේ තරම් ම ලස්සන වෙන්න නම් එක එක වර්ගවල මල් වගේ ම එක එක වර්ගවල කුරුල්ලන් අවශ්‍ය බව ඔබට වැටහෙන්න වැඩි වෙලාවක් යන්න විදිහක් නෑ.
ඉතිං විවිධත්වය තමයි විචිත්‍රත්වය.මේ හැමදේම මේ තරං ලස්සන කරන්නෙ සමානකම් නෙමෙයි.වෙනස්කම්.වෙනස්කම් නිසා තමයි ලෝකය විසිතුරු වෙන්නෙ.
ඒත් මේ දහසකුත් වෙනස්කම් අතරිං වුණත් සමානකමක් හොයාගන්න වුණත් අපිට බැරිවෙන්නෙ නෑ.
බලන්න එක එක වර්ගවල,එක එක පාටවල, එක එක සුවඳ විහිදෙන මල් වටපිටාවෙ පිපිලා තියෙනවා.ඒත් ඒවා මොන මොන පාටවල,මොන මොන වර්ගවල,මොන මොන සුවඳ විහිදෙන මල් වුණත්,ඒ හැමකක් ම මල් ම විතරයි.
අහසෙ පියාඹන එක එක ප්‍රමාණයේ,එක එක පැහැයේ,එක එක හඬවල් තියෙන කුරුල්ලො දිහා බලන්න.උන් එක එක පැහැති,එක එක ප්‍රමාණයේ,එක එක හැඩයෙ කුරුල්ලො වෙන්න පුලුවං.ඒත් ඒ කොහොම වුණත් උං හැමෝම කුරුල්ලො.
ප්‍රශ්නය තමයි මේ ලෝක සිද්ධාන්තය ඔබටත් මටත් සහ තව සියදහසක් දෙනාටත් මෙතෙක් තේරුං ගන්න බැරිවෙච්ච එක.එහෙම නැත්තං අද ලෝකෙ මීට වඩා ලස්සන තැනක් වෙන්න තිබුණා කියලා හිතෙන්නෙ මට විතර ද? එහෙමත් නැත්තං …ඔබටත් එහෙම හිතෙනව ද?
බලන්න…අද මිනිස්සු ඉන්නෙ බෙදිලා.ඒ බෙදුමට සීමා මායිම් නෑ.අපි එක එක විදිහට බෙදිලා.දේශසීමාවලින් බෙදිලා,හමේ පාටින් බෙදිලා,කතා කරන භාෂාව අනුව බෙදිලා,ජාතිය අනුව බෙදිලා,ආගම අනුව බෙදිලා…නා නා ප්‍රකාර විශ්වාස අනුව බෙදිලා.
ඒ බෙදීමේ ගැටලුවක් නෑ කියන එකයි,ඒ බෙදීම වළක්වන්න බෑ කියන එකයි ඔබටයි මටයි පැහැදිලි වෙන්න ඕනෙ.
අපි ආයෙමත් දවස පටං ගත්ත උදෑසනට ගියොත් එක එක වර්ගයේ මල් පිපෙන එක නවත්තලා ඒ හැම මලක්ම එකම වර්ගයේ මල් කරන්න අපිට බැරි බව ඔබටයි මටයි පැහැදිලියි.ඒ වගේ ම කුකුළෙක් බට්ටිච්චෙක් කරන්නවත් බට්ටිච්චෙක් කුකුළෙක් කරන්නවත් ඔබටවත් මටවත්…අඩුම තරමෙ ඒ කුරුල්ලන්ටවත් බෑ කියන එක ඊටත් වඩා පැහැදිලියි.
ඉතිං ඒ දහම ම ඔබටත් මටත් පොදු බව තේරුං ගන්න අමුතුවෙං ටිකා ටිප්පනි මොනවටද? මා ඔබ නොවෙන තාක් සහ ඔබ මම නොවෙන තාක් අපි දෙන්නම එකිනෙකාට වෙනස්.කවමදාවත් ඔබ හිතන විදිහට මටවත් මම හිතන විදිහට ඔබටවත් හිතන්න බැරි බව අපිට පැහැදිලි වෙන්න ඕනෙ.මිනිස්සු විවිධයි.මිනිස්සු එකිනෙකාගෙන් විවිධයි.ඔබට මම වෙන්න බෑ වගේ ම මට ඔබ වෙන්නත් බැහැ.ඇත්තට ම ඒක අවශ්‍යත් නැහැ.
කොටිං ම කියනව නං විවිධත්වය කියන්නෙ ගැටලුවක් නෙමෙයි.ඒක තමයි ස්වභාවය.ඒක තමයි විචිත්‍රත්වය.
එහෙනම් මොකක් ද ගැටලුව ?
ගැටලුව තමයි අපි අපේ විවිධත්වය පිළිනොගැනීම.
මට ඔබව ඔබ විදිහටත් ඔබට මම මම විදිහටත් පිළිගන්න බැරිවීම තමයි ගැටලුව.ඒ නිසා ම අද කොයිතරං නං විනාසයක් සිද්ධ වෙලා ද?
ලෝක ඉතිහාසයේ වගේ ම ලංකා ඉතිහාසයෙත් මේකට උදාහරණ හිඟ නැහැ.මේ මෑතකදි සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය,මහනුවර ගැටුම වගේ ම මෙතෙක් කාලෙකට විශාලත ම විනාශයක් සිද්ධ කරපු කලු ජූලිය වගේ උපද්‍රව ඇති වුණේ මේ කියන මට ඔබව ඔබ විදිහටත් ඔබව මට මම විදිහටත් පිළිගන්න බැරිවීම නිසා.
අපි මේක තේරුං නොගන්නාතාක් මේ වගේ තවත් විනාස කීයක් නං වේවි ද?
දැං හිතන්න…අද උදේ පිපිලා තිබුණ මල් එක එක පාට එක එක විදිහෙ මල්.ඒත් ඒ මල් තමන් පිපෙන්නත් අනිත් මල් පිපෙන එක වළක්වන්නත් කටයුතු කළේ නෑ නේද? ඒ මල් කලේ තමන් වගේ ම අනිත් මලුත් පිපෙන්න ඉඩදී බලා හිදීම.අන්තිමට පරිසරය සුන්දර වුණේ වගේ ම ඔබටත් මටත් දැණුන මල් සුවඳ සෑදුනේ ඒ හැම මලකම සංකලනයක්.
ඒත් එක්ක ම අහසෙ ඉම කොන හොයාගෙන පියාඹපු කුරුල්ලො වුණත් කලේ තම තමං තෝරාගත් ඉසව්වලට පියාඹපු එක මිසක් වෙන කුරුල්ලෙකුගෙ මාර්ගයක් අවහිර කරපු එක නෙමෙයි.තමංගෙ ප්‍රීතිය තම හඬින් පිට කිරීම මිස වෙනත් හඬක් නැවැත්වීමට උත්සාහ දැරීම නෙමෙයි.අන්තිමට ඔබටත් මටත් ඇසුණ ඒ කුරුළු කූජනය හැදුණෙ තනි කුරුල්ලෙකුගෙ හඩකින් නෙමෙයි.ඒ හැම කුරුල්ලෙකුගෙ ම හඬවල්වල සංකලනයක්.
ඉතිං ඔබත් මමත් අපි හැමෝමත් සරලවම තේරුං ගත යුත්තෙ මේක නෙමෙයි ද?
දැන් බලන්න ඔබ අදහන ආගම එකක් සහ මම අදහන ආගම වෙන එකක් වෙන්න පුලුවං.ඔබ අයත් ජාතිය සහ මම අයත් ජාතිය වෙනස් වෙන්න පුලුවං.ඔබට ජාතියක්,ආගමක් තිබුණත් මට ජාතියක් හෝ ආගමක් නැති වෙන්න පවා පුලුවං.ඒත් මොකක් ද ගැටලුව ?
ඔබ හිතන විදිහ සහ මම හිතන විදිහ වෙනස් කියන එක ගැන අමුතුවෙං තර්ක විතර්ක ඕනෙ නැහැ.අපි හැමෝ ම හිතන්නෙ එකිනෙකාගෙන් වෙනස් විදිවලට.සරලව ම බලන්න.ඔබේ ප්‍රියතම පාට නෙමෙයි මගෙ ප්‍රියතම පාට.ඒක පදනම් වෙන්නෙ පුද්ගලයා කවුද කියන එක අනුවයි.ඉතිං ජාතිය,ආගම,විශ්වාසය වගේ දේවලුත් ඒ වගේ ම සරලයි නේද?
ඔබ හිතන විදිහ අනුව ඔබට ඔබේ ආගම හරි වෙන්න පුලුවං.මම හිතන විදිහ අනුව මට මගේ ආගම හරි වෙන්න පුලුවං.ඔබ ජාතියකට ආගමකට කැමති වුණත් මම කිසිම ජාතියකටවත්,ආගමකටවත් අකමැති වෙන්නත් පුලුවං.ඒක තීරණය වෙන්නෙ අපි මත නෙමෙයි ද?
එක මලක් පිපෙන්නෙ දම් පාටට වෙද්දි තව මලක් පිපෙන්නෙ නිල් පාටට.ඒ තමයි මල්වල විදිහ.ඔබ නිල් පාට මලක් නම් මමත් නිල් පාට මලක් වෙන්න ඕනෙ කියලා හිතන එකම මොන තරං පිස්සුවක්ද?
නිල්පාට වුණත් දම් පාට වුණත් ඔබත් මමත් දෙදෙනාම මල් බව හොඳින් බැලුවොත් අප දෙදෙනාටම පෙනේවි.
ඉදින් ආගමක් හෝ විශ්වාසයක් දැරීමට අපට නිදහස තියෙනවා.ඒක නිකං බටහිරට පියාඹන්න බට්ටිච්චෙකුටත්, නැගෙනහිරට පියාඹන්න පොල්කිච්චෙකුටත් තියෙන නිදහස වගේ දෙයක්.හැබැයි අවශ්‍ය නම් බට්ටිච්චටත් පොල්කිච්චටත් දෙන්නටම බටහිරට පියාඹන්න වුණත් පුලුවං.
ඉදින් මම ඔබ ඔබ ලෙසත් ඔබ මම මම ලෙසත් පිළිගන්න පුරුදු විය යුතුයි.ආගමක් හෝ විශ්වාසයක් දැරීමට ඇති නිදහස උදෙසා සමාවදීම,ඉවසීම හා විශ්වාසය යනාදී මානුශීය ගුණාංග ප්‍රගුණ කළ යුතුයි.
සිදුවන සුළු වැරැද්දකට සමාවදීමට,සුළු සුළු බාධාවන් ඉවසීමට,එකිනෙකා මත විශ්වාසය තැබීමට ඔබත් මමත් දෙදෙනාම නිල් පැහැ මල් වීමට අවශ්‍ය නෑ නේද?
බටහිර බලා පියාඹන බට්ටිච්චෙකුට හා පොල්කිච්චෙකුට තනිකම නිවා ගැනීමට එකිනෙකා හා මිතුරු වීමටත් ආරක්ෂාව උදෙසා එකට ක්‍රියා කිරීමටත්,සුළඟට අනුකූලව එකට තටු ගැසීමටත් තහනම් නෑ නේද?
ඉතින් එන්න…අපි උඩුගං බලා පියාඹමු
Abdul Umar Sahan Nethmina