“මගේ දේශය ,මගේ ජාතිය,මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි……
චණ්ඩ මාරුතයේ
නොසෙල්වෙන චින්තනය
නිවහල්………”
ලෝකයේ අන් කවර දේශයකට දෙවැනි නොවන්නා වූ දේශයක ඉපදීමට අපි වාසනාවන්ත වීමු .ලෝකයේ කිසිදු ජාතියකට දෙවැනි නොවන්නා වූ අභිමානවත් ජාතියකට අයත් වීමට අපි පින් කර ඇත්තෙමු. අතීතය ශ්‍රේෂ්ඨය .අපි එයට ණයගැති වෙමු.එබැවින් ම අප උත්තරීතර වූ නිවහල් චින්තනයකට උරුමකම් කියමු .සැබැවින්ම මීටත් වඩා භාග්‍යයක් මනුසත් බව ලැබූ කවරෙකුට නම් ලබන්නට හැකි වේද?
විශ්වය පුරා විහිදුනු කළු කුහර,චක්‍රාවාට ,මන්දාකිණි මධ්‍යයේ පරම සුන්දර මිහිතල මනාලිය මත වැඩී සත්ත්ව ශිෂ්ටාචාරයෙන් විභේදනය වී කැලයෙන් ලෝකයට ආ මිනිසා සිය භෞතික සාර පූර්ණත්වය සොයා යන අඛණ්ඩ ගමනේ පියවර අතරින් විවිධ සංස්කෘතීන්,භාෂාවන්,කුලයන් ,ආගම්, විශ්වාසයන් ,ජාතීන් සහ අභිචාර විධි දළුලා වැඩෙන්නට විය.
ආගම වූ කලී මානවයා ජන්මය ලද පසු මිය යන තුරුම සෘජුව හෝ වක්‍රව බලපෑම් එල්ල කරනු ලබන සමාජ බලපෑමකි.ආගමක් තුළින් මිනිසා අපේක්ෂා කරනුයේ සහනශීලී බවකි.ඕනෑම ආගමක් ගත්කල ආචාරධර්ම( සිරිත් විරිත්), සාහිත්‍යය ( ආගමික පොත පත) , ශාන්තිකර්ම( අභිචාර විධි) හා දර්ශනය( ධර්මය) යනාදී පොදු සමානකම් දක්නට ලැබේ.ලෝකයේ අද වන විට ආගම් අතිවිශාල ප්‍රමාණයක් පවතින අතර ඒ අතුරින් ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු හා බෞද්ධ යනු ප්‍රධානතම ආගම් සතරකි.ඇතැම් විටක ආගම යනු එක්තරා විශ්වාසයකි.විශ්වාසය යනු නිශ්චිත වූ දැනුමක් නොමැති වූ තැනක දී මිනිසා හට සරණ වන අංගයකි .
මිනිසත් බව ලැබීම හේතු කොටගෙන පුද්ගලයෙකුට උපතින්ම ලැබෙන මානව අයිතිවාසිකම් වූ කලී විශ්වීය සංකල්පයකි. සිතීමේ,හෘද සාක්ෂියේ හා ආගමික නිදහස ද ඕනෑම පුද්ගලයෙකුට උපතින්ම හිමිවන අයිතිවාසිකමකි.සාධාරණත්වය හා සමානාත්මතාව මූලධර්මය මත පදනම්ව ජාතිය, ජන ජනවර්ගය, ආගම, භාෂාව ,ස්ත්‍රී පුරුෂ භාවය හා සමාජ පන්තිය ආදී විෂමතා තුට්ටුවකට මායිම් නොකර පොදුවේ සියල්ලන්ටම මෙම අයිතිවාසිකම් හිමි වීම මෙහි ඇති සුවිශේෂත්වයයි.
අවුරුදු දෙදහස් පන්සියයකින් ඔබ්බෙහි ලෝකයෙන් අඩක්ම අවිද්‍යාව හා අශිෂ්ටත්වය නම් අඳුරෙහි නිමග්න ව පැවැත්තේය .මේ සා දුරාතීතයකට පෙර පහළ වූ සම්‍යක් සමිදාණන්ගේ දම් ගඟුල ඒ වන විටත් ලෝක සත්වයා කරා වාන් දමන්නට ආරම්භ වී තිබිණ.සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙසීය තිස් හයක් නික්මුණු කළ ධර්මාශෝක සමිදුන්ගේ පුත් මිහිඳු හිමි ප්‍රමුඛ කොටගත් ශ්‍රී සද්ධර්මයත් මෙරට සමාජ සංස්කෘතියට හිතැතිව සංක්‍රමණය වී මේ පින්බිම සුපින්බිමක් කරවීමට ශක්‍යතාව උදාකර ගැනීමට භාග්‍ය වූ බව පැවසීම අතිශයෝක්තියෙන් තොර වූවකි.
මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රාග් බෞද්ධ යුගයේ සංස්කෘතිය වටහා ගනිමින් එහි ම හරවත් පරිවර්තනයක් සිදු කිරීම මිස පෙර වූ සංස්කෘතිය හෙළා දැකීම ,විවේචනය හෝ ප්‍රතික්ෂේප නොකර එකල ජනයා වෙත සමාව දීම , ඉවසීම හා විශ්වාසය යනාදී මානුෂීය ගුණාංග ප්‍රකට කරවීම නිසා ඔවුන් නිරර්ථක ආගමික සංස්කාර විධි අතැර හරවත් ආමිස හා ප්‍රතිපත්ති පූජා විධි වලට නැඹුරු වන්නට විය .
එකදුු බෞද්ධ ඉගැන්වීමකවත් ජාති ආගම් කුල භේද අනුමත කිරීමක් සිදු කර නොමැත .බ්‍රාහ්මණ , ක්ෂත්‍රිය ,වෛශ්‍ය ශුද්‍ර යන සිව් කුලයේම මනුෂ්‍යයන් හට බුද්ධ ශාසනයේ පැවිදි වීමට අවස්ථාව ලබා දෙමින් බුදුරජාණන් වහන්සේ එදා ප්‍රකට කළේ සමානාත්මතාවයේ අගයයි.
මෙලෙස බෞද්ධ ඉගැන්වීම් නම් තොටිල්ලේ සුවසේ හැදී වැඩුණු ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහ සහජීවනය නම් දෙදරුවන් සමස්ත ලෝකයාගේම ගෞරවාදරයට පාත්‍ර වුණි .එහෙත් ඊට පටහැනිව යමින් ජාති ,කුල ,ආගම්, පක්ෂ පළාත් ආදී වශයෙන් භේද වැපිරීම සිදුකරන්නේ නම් එය මිනිස් අයිතිවාසිකම් යටපත් කිරීමකි .වෙනත් සත්ත්ව වර්ගයා අතර ජීව විද්‍යාත්මක වෙනස්කම් දැක්වීමට බොහෝ සාධක පැවතිය ද මිනිසා පිළිබඳව එබඳු වෙනස්කම් දැක්විය නොහැකි බව බුදු දහමේ නිදසුන් සහිතව දක්වා තිබේ .මිනිසුන්ගේ සිරුරු වෙන් වෙන් වශයෙන් ගත් ගත් කළ වෙනසක් නැති බවටත් ,ලිංග ජාති වශයෙන් ගත්කල සමානත්වයක් ඇති බවත් වාසෙට්ඨ සූත්‍රයේ සඳහන් වේ .
ස්වකීය ජීවිතයට තමා බෙහෙවින් ප්‍රිය කරන්නේ යම් සේද එලෙසම අන්‍ය සත්වයෝද ස්වකීය ජීවිතයට ප්‍රිය කරති.එහෙයින් පර පණ නොනැසිය යුතුය .බුදු දහම තුළ සියලු සත්ත්වයාට ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇත්තේ එලෙසිනි . මනුෂ්‍ය ප්‍රාණය ඉතා අගනේය .එය ආරක්ෂා කළ යුතුය.අල්ලාහ් මිනිසාට අයිතිවාසිකම් ලබා දෙන්නේ උපතේ දීමය .එම නිසා කිසිවෙකුට එය වැළැක්විය නොහැක . “අල්ලාහ් උතුම් කළ ප්‍රාණය නිසි විභාගයකින් තොරව මරන්න එපා ” යනුවෙන් ඉස්ලාම් ධර්මය තුළ ද ජීවත්වීමේ අයිතිය තහවුරු කර ඇත්තේය .
විවිධ සංස්කෘතීන්ට අනුව හැඩගැසුණු අන්‍ය ජාතීන් මෙන්ම අන්‍යාගමිකයන් වෙසෙන සමාජ වටපිටාවක අප වෛරයෙන් ද්වේශයෙන් තොර මනසින් සමස්ත සත්ව වර්ගයාම මා වැනි යැයි සිතා ඔවුන්ගේ විශ්වාසය සුරැකමින් ,අන්‍ය මත ඉවසමින් අපේක්ෂාවෙන් කටයුතු කළ යුතුය.එදා බුදුරදුන් ලොව පහළ වූ අවධියේ ද බොහෝ මිත්‍යා මත දැරූ පුද්ගලයෝ ස්වකීය දහම හුවාදක්වමින් අන් සියලු දහම් හෙළා දුටුවහ .එනමුදු බුදුරජාණන් වහන්සේ ඒ මත සියල්ල ඉවසමින් ඔවුන් හට සමාව ලබා දෙමින් උතුම් මනුෂ්‍යත්වයේ ගුණාංග ප්‍රකට කරන ලද්දේ උපේක්ෂාවෙන් යුතුවය .
” අපි සහෝදරයන් මෙන් එකට ජීවත් විය යුතු වෙමු .නොඑසේ නම් මෝඩයින් මෙන් විනාශ වී යා යුතු වෙමු” .
– මාටින් ලූතර් කිං-
” සියලු සතුන් ලොව සුවපත් වේවා!” යි බෞද්ධාගමිකයෝ පතන අතර ” අසල්වැසියාට ප්‍රේම කිරීම ” කතෝලික බැතිමත්හු දර්ශනය කර ගනිති .පන්සලත් පල්ලියත් ඒකාබද්ධ කළ මානව හිතවාදී සිතිවිලිවලින් පෝෂණය වූ පන්සලේ පියතුමා යන අන්වර්ත නාමයෙන් හැඳින්වූ මර්සලින් ජයකොඩි පියතුමා ජාතියේ පිනට පහළ වූ උතුම් මනුෂ්‍යයෙකි. වරක් මෙතුමා කළ ප්‍රකාශයක සඳහන් වූ දෙය එතුමාගේ හදවතේ ඇති සිතිවිලි අපට විවර කර පෙන්වන අවස්ථාවක් ලෙස අගය කළ හැකිය.” මා බෞද්ධයකු නොවෙයි. එහෙත් මා ඉපදුනේ බෞද්ධ පරිසරයක .මේ රට අරලිය මලින් නෙළුම් මලින් පන්සලේ සුපිරිසිදු පරිසරයෙන් හැඩගැසුණු රටක් ,ඒක අමතක කරන්න අපිට බැහැ , අපි කතෝලිකයන් හැටියට ඒ බෞද්ධ පරිසරයේ අපේ ජීවිත රටාවන් හැඩගස්වා ගන්න ඕනෑ ” උන්වහන්සේ අප අතර රැඳවු මෙම ප්‍රකාශය කෙතරම් මානුෂීය ප්‍රකාශයක් වන්නේ ද?
ස්වභාවධර්මයා තම දරුවන් පෝෂණය කිරීමෙහිලා සම්පතින් පරිපූර්ණ වූ ලොවක් තනා දුන්නෙ නම් එය විශ්ව සාධාරණීය ලෙස බුක්ති විඳිය යුතුය .එනමුත් අද සමාජයේ ඇත්තේ මිනිසා මිනිසා අතර වන විසංතුලනය කි.කුල මල ජාති ආගම් භේදයන්ගෙ අභිමත විෂමතා අන්ධකාරයට අද ලෝකයාගේ තුට්ටුවක් සැලකීමක් නැත .යුද්ධය ,ත්‍රස්තවාදය ,කැරලි කෝලාහල තවදුරටත් ලෝකයා ප්‍රතික්ෂේප කරනු ඇත .
පරාර්ථකාමී බව, සාකච්ඡාව, ඉවසීම ,දූරදර්ශී බව, සමාව දීම යනාදී මානුෂීය ගුණධර්ම සමාජයට තවදුරටත් අවැසිය .ආගම, කුලය, ජාතිය භාෂාව උදෙසා උනුන් මරා ගැනීම සමාජයට කොහෙත්ම ඔබින නොවේ .කැලැල් දෙක හිනැහෙන්නේ තුවාල නොලද්දෝ වුවත් කැලලින්,ලෙයින් ,කඳුළින් බැටකෑ අප්‍රමාණ ජනයා ලොව වෙසෙයි.
” යුද්ධයකින් ජය ලද්දෝ ද පරාජය ලද්දෝ ද යන සියල්ලෝම පැරදු වෙති . ”
– බුදුරජාණන් වහන්සේ –
මේ යුගය නම් විසිඑක්වෙනි සියවසයි .මිනිසා සද මත පියවර තබා වසර ගණනාවක් ගත වී හමාරය . මිනිසා ස්වකීය බුද්ධිය හඹාගොස් විශ්වය දික්විජය කළ මුත් ,පොළොවේ පයගසන ස්වකීය මනුෂ්‍ය වර්ගයා ගැන නොසිතා මනුෂ්‍යත්වය ජයග්‍රහණය කරවන්නට නොසිතන්නේ මන්ද ? මේ සා බුද්ධිසම්පන්න මිනිසා තම අභිලාෂයන් ඉටු නොවුනු විට තවකකු මරා දැමීමේ පලය කිම ? පෘථග්ජන සිත්හි පවත්නා වෛරය , ක්‍රෝධය යනාදී සිතිවිලි මේ හරහා තුඹසින් මතුවන නාගයා මෙනි .එහිලා කුලයට ,ආගමට, ඇති හැකි හා නැතිබැරිකමට උනුන් ඝාතනය කිරීම යෙහෙකි දැයි අත්‍යන්තයෙන් ම සිතා බලන්න . මෙවන් නිරර්ථක මාතෘකා නිසා විනාශ කර දමන මිනිස් ජීවිත හා දේපළ යොදා ගනිමින් කුසගින්නට පිළියම් යෙදුවේ නම් අද ලොවේ කොපමණ ජනයා සුවසේ වාසය කරනු ඇත්ද ? එසේ වී නම් කුසගින්න යනු එක් වචන මාත්‍රයක් පමණක් වනු ඇත .
“වෛරයෙන් වෛරය නොසන්සිදේ නම්” අනුන්ට වෛර කිරීමේ ඇති ඵලය කුමක්ද ? සැබැවින්ම ලොව දිනා ගත හැකි යමක් වේද ඒ නම් උතුම් මනුෂ්‍යත්වයයි .තමා මෙන්ම සියලු සියලු සත්වයන්ට ද මෛත්‍රිය කරන්නේ නම් විශ්වාසය තබන්නේ නම් මනුෂ්‍යත්වයේ විජයග්‍රහණය වැඩි ඈතක නොවන බව ලෝක සත්ත්වයාට පසක් වනු නියතය .
” ලෝකයක් නසන්නට රුදුරු අවි අත දරා අත දරා සැරසෙමුද?
නැසුණු ලොව අභිමුවෙහි විජය කොඩි නගන්නේ කවුරුන්ද ? ”
බලකාමයෙන් මංමුලාව නිරුදක කතරේ ක්ෂේම භූමි සොයන අද්‍යතන යුගයේ අති නවීන තාක්ෂණය විනාශය ඇරඹුම ය . නෙක සුවඳ මලින් බුදුන් පුදමින් , ඉටිපන්දම් දල්වා සමිදුන්ගේ දෑස් අද්දර දීප්තිය දකින්නට , පල්ලියේ යාතිකා කරන්නට හැකි වූ යුගය නිමාව ,සකල වටපිටාවම වෙඩි බෙහෙත් ,මූනිස්සම් ගන්ධයෙන් දුර්ගන්ධ කරන්නට තරම් මිනිසා සහසික වන්නේ මානවවාදී හැඟීම් ප්‍රවාහයන් අඳුරේ ගිල්වා මනුෂ්‍යත්වයට ද නිගා කරමිනි.
ගස් වැල් මල් කෙලෙසන ,වන සතුන් මරණ මිනිසාට තම වර්ගයා මරණයට පත් කිරීම එතරම් අරුමයක් පුදුමයක් නොවන්නේය .තම සහෝදර ජනයා කෙරෙහි ආදරය ,සෙනෙහස ,දයාව පතුරවන්නේ නම් මෙකී තත්ත්වය තවදුරටත් උද්ගත නොවනු ඇත. තමන් පිළිබඳව අත්‍යන්තව විවරණය කර තම දිවිය හා සමානව අන්‍ය ජීවිතයක් දෙස බැලිය හැකි වන්නේ නම් ,අනෙකාගේ ඇසේ ඇති පොල් කෙන්ද ට වඩා තම ඇසෙහි ඇති පොල් පරාලයේ දිග ,උස, පළල මනාව පැහැදිලි වනු ඇත.
තම තමන්ට ආගමක් ඇදහීමේ විශ්වාසයක් දැරීමේ නිදහසක් ඇත . කවර ආගමක ,කවරෙකු ද කියා දෙන්නේ එකේ නිදහස අහිමි කරමින් උනුන් මරා ගැනීමේ දර්ශනය ? තමා ආත්මාර්ථකාමය දුරලා අනුන් වෙත උපකාර කිරීම,සමාවදැක්වීම ,දයාව දැක්වීම, විශ්වාසය තැබීම කළ යුතුය .මමත්වය දුරලීම උතුම්ය .අන්‍යයන් වෙත අවධානය යොමු කොට අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කරන්නේ නම් මෙලොව සහෝදරත්වයෙන් හෙබි සැබෑ මනුෂ්‍ය වාසයක් වනු ඇත.
ශිෂ්‍ය අවධියේ පටන් යම් ආගමක් හෝ විශ්වාසයක් දැරීමට ඇති නිදහස වෙනුවෙන් උතුම් වූ මානුෂීය ගුණාංගයන්ගෙන් යුක්තව සකල ජනයා දෙස නෙත් යොමු කරන්නට අභිප්‍රේරණයක් සැපයූයේ නම් එයම සාරධර්මික සමාජයකට මූලබීජය වනු නියතය. කුඩා කල පටන් ම රෝපණය කළ යුතු පූර්වෝක්ත මානුෂීය ගුණාංගවලින් යුත් පුද්ගලයා සාරධාර්මික ව සමාජ ගත වනුයේ මූලය සවිමත් රුක්ෂයක් තව්තිසාව දක්වා තමා අංකුර විහිදුවන්නාක් මෙනි.එකී සාරධර්මික සමාජය බිහිවීමෙහිලා පදනම පාඨශාලාවෙන් දියත් කළ යුතු බව මා සිතැඟි ය . එවිට එය සැබෑ මනුෂ්‍යත්වයේ විජයග්‍රහණයක් වනු නියතය .
” පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබැලිවලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙලින් තබාගෙන
සිටිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන
පියාණනේ . ”
අමාශා ජයනි මහානාම